.කුරුණෑගල, තෝරයාය, අටමුණේ පදිංචිව සිටින පාසල් ගුරුවරියක පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිවු නිවුන් දරුවන් බිහි කර තිබේ.
දරුවන් සිවුදෙනා සහ මව මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජේයෂ්ඨ කථිකාචාර්ය සම්පත් ඥානරත්න පවසයි.
තුසාංගි ලංසකාර නමැති තිස් හැවිරිදි මෙම පාසල් ගුරුවරිය පිරිමි දරුවන් තිදෙනකු හා ගැහැනු දරුවකු මෙලෙස බිහි කර තිබෙන අතර ඔවුන් කිලෝග්‍රෑම් 1.3ත් 1.1ත් අතර බරකින් යුක්ත වීම නිසා රෝහලේ නව ජන්ම ළදරු විශේෂ ප්‍රතිකාර ඒකකයට යොමුකර ඇත.
දරුවන්ගේ පියා වන බුද්ධික හේරත් මල්ලව පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකු ලෙස සේවය කරයි.
දරු ප්‍රසූතිය සිදුකළ තුසාංගි ලංසකාර මෙසේ ප්‍රකාශ කළාය. “අපි විවාහ වෙලා අවුරුදු දෙකක් වෙනවා. දරුවකු පිළිසිඳගෙන තිබෙන බව දැන ගැනීමෙන් පසු කුරුණෑගල රෝහලට ගියා. එහිදී ස්කෑන් පරීක්ෂණයක් කළාම ළමයි දෙන්නෙක් කුසේ ඉන්න බව පැවැසුවා. පසුව දෙවන වර ස්කෑන් පරීක්ෂණය කරනකොට ළමයි තිදෙනෙක් කුසේ ඉන්න බව පැවැසුවා. තෙවැනි ස්කෑන් පරීක්ෂණයෙන් තමයි දැන ගත්තේ ළමයි හතර දෙනෙක් ඉන්නවා කියලා. මුලින් ලොකු බයක් ඇති වුණා. මගේ ඥාතීන් සියලු දෙනා කිව්වා දරු ප්‍රසූතිය කරන්න හොඳම තැන පේරාදෙණිය රෝහල කියලා. ඒ අනුව තමයි වෛද්‍ය සම්පත් ඥානරත්න මහතා හමුවුණේ. මාස පහක් පහු වුණාම සති දෙකින් දෙකට ස්කෑන් කරමින් මාව පරීක්ෂා කළා. ඒ අනුව ඩොක්ටර් මගේ කුසට මාස 08ක් වෙත්දී දරුවන් සිසේරියන් සැත්කමක් මඟින් පිටතට ගමු කියලා කිව්වා. රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය මට පුදුම සහයෝගයක් දුන්නේ. ඒ අය සියලු දෙනාට මේ වෙලාවේ ස්තූතිය පුද කරනවා. මගේ කිරි දරුවෝ හතර දෙනාටම දෙන්න ප්‍රමාණවත් නොවන නිසා වෙනත් කිරි දරුවන්ට දෙන්න වෙනවා. ඒවා ඉතා මිලයි. මේ දිනවල පවතින ආර්ථික තත්ත්වයත් එක්ක එවැනි වියදමක් දරා ගන්න අමාරුයි. ඒ නිසා කවුරුන් හෝ උදවු කරනවා නම් අපි ඒක සතුටින් බාර ගන්නවා.”
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සම්පත් ඥානරත්න, ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පැතුම් දිසානායක, ළමා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියාංග දෙමටව, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය රෝචන පෙරේරා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් මෙම සැත්කම සඳහා සහභාගි වී ඇති අතර රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබේ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සම්පත් ඥානරත්න මෙසේ කීවේය.
“විනාඩි 10ක පමණ කාල පරතරයක් ඇතිව දරුවන් සිවු දෙනා පිටතට ගන්න අපිට පුළුවන් වුණා. කුසට සති 08ක් සම්පූර්ණ වෙත්දී තවත් කල් නොයවා සිසේරියන් සැත්කම සිදු කිරීමට අප තීරණය කළේ මව විවිධ සංකූලතාවලට ලක්වීමේ අවදානම නැති කරන්නයි. නොමේරූ දරුවන් සතර දෙනකු නඩත්තු කිරීමට මේ මවුපියන්ට අපහසු බව පෙනෙන නිසා ඒ අයට පරිත්‍යාගශීලීන් උදවු කළොත් හොඳයි කියලා මම හිතනවා” යැයිද වෛද්‍යවරයා කීවේය.
